Tax & Permit

වරිපනම් අය කිරීම

  1. හැඳින්වීම

ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.

  1. නෛතික අධිකාරිය

මහා නගර සභා ආඥාපනතේ 4 වන වගන්තියෙන් ද නගර සභා ආඥාපනතේ 4 වන වගන්තියෙන් ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපුර්ණය කර ගැනීමට –

(අ) මහා නගර සභා ආඥාපනතේ 230 වන වගන්තියෙන් මහා නගර සභාවලට ද;

(ආ) නගර සභා ආඥාපනතේ 160 වන වගන්තියෙන් නගර සභා වලට ද; සහ

(ඇ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට ද, වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

3.සුදුසුකම් / අදාළ වීම

(අ) කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල අයත් හෝ නිශ්චල දේපළ වර්ගයකට අයත් දේපළක් විය යුතු ය.

(ආ) එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු, සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා, වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

  1. ගෙවිය යුතු ගාස්තුව

 (අ) පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.

 (ආ) තක්සේරු නිවේදනය බාරදෙන අවස්ථාව වන විට කලින් ගෙවිය යුතු වරිපනම් හිඟයක් වේ නම්, එම මුදල කොපමණ ද යන්න එහි සඳහන් කර ඇත. එම හිඟ මුදල ද පියවිය යුතු ය.

 (ඇ) මෙම වාර්ෂික වරිපනම් ගාස්තුව එකවර හෝ කාර්තු පදනමෙන් ගෙවීමට අවස්ථාව ඇත.

 (ඈ) කිසියම් දේපළක් වෙනුවෙන් ගෙවිය යුතු වරිපනම් ප්‍රමාණයෙන් මුළු වර්ෂයට ම අදාළ මුදල නියමිත වර්ෂයේ ජනවාරි මස 31 දිනට පෙර ගෙවනු ලබන්නේ නම්, එම මුළු මුදලෙන් 10% ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ලබා ගත හැකි වන්නේ වර්ෂය ආරම්භ වීමට පෙර පැවති හිඟයක් වේ නම්, එම හිඟය ද ඒ අවස්ථාවේ දී ම පියවන්නේ නම් පමණි)

 (ඉ) එසේම වර්ෂයේ කිසියම් කාර්තුවකට අදාළ වරිපනම් ගාස්තුව, එම කාර්තුවේ පළමු මාසය අවසන් වීමට පෙර ගෙවනු ලබන්නේ නම් එම කාර්තුවට අදාළ මුදලෙන් 5% ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ගෙවීමේ දී ද පූර්ව කාලයට අදාළ ව හිඟ ඇත්නම් පියවීමට යටත් විය යුතු ය).

අදාළ වරිපනම් ගෙවිම සඳහා සභාව විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය හෝ අදාල වරිපනම් දේපළෙහි හැදුනුම් අංකය (Property ID) හෝ වරිපනම් අංකය ඉදිරිපත් කර ගෙවිම් සිදු කල හැකිය.

5.ඉදිරිපත් කළ යුතු ලේඛන

(අ) පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය.

(ආ) තක්සේරු නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ දේපළෙහි පිහිටීම (පාර, වරිපනම් අංකය, ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

සටහන:

දේපළෙහි තක්සේරුවට විරෝධතා ඉදිරිපත් කර තිබුණේ වුව ද, වර්ෂයට අදාළ වරිපනම් ගෙවීමට දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ.

  1. වරිපනම් ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක

(අ) කිසියම් වරිපනම් කලාපයක පිහිටා ඇති නිශ්චල දේපළක් හෝ නිශ්චල දේපළ වර්ගයක් මත පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන වරිපනම්, එම ආයතනය විසින් නියම කරනු ලබන කාලය ඇතුළත දී එම පළාත් පාලන ආයතනයට ගෙවීමට අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ. නියමිත කාලය ඇතුළත එම වරිපනම් ගෙවීමට යම් තැනැත්තකු අපොහොසත් වන්නේ නම්, එම හිඟ මුදල් අය කර ගැනීම සඳහා සභාවේ නිලධරයකුගේ හෝ යම් බදු එකතු කරන්නකුගේ නමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමට නාගරික කොමසාරිස්ට / ලේකම්ට නීතිමය බලය ඇත.

(ආ) නාගරික කොමසාරිස් / ලේකම් විසින් එවැනි බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට, එම බලපත්‍රය ලැබූ තැනැත්තා විසින් අදාළ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තකුට අයත් සියලු ම චංචල දේපළ තහනමට ගෙන විකුණා අය විය යුතු මුදල් ප්‍රමාණය අය කර ගෙන පළාත් පාලන ආයතනයේ අරමුදලට තැන්පත් කිරීම ද නීත්‍යනුකූල වේ.

(ඇ) මෙසේ කිසියම් චංචල දේපළක් තහනමට ගැනීමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව වශයෙන් පහත පරිදි මුදලක් ද අය කර ගැනීමට බලය ඇත.

  1. වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් වන විට, අය විය යුතු මුදලෙන් 15% ක ප්‍රමාණයක්; හෝ
  2. වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් නොවන වෙනත් වර්ගයක දේපළක් වන විට, අය විය යුතු මුදලෙන් 20% ක ප්‍රමාණයක්.

(ඈ ) එසේම චංචල දේපළ තහනමට ගැනීමේ ගාස්තු වශයෙන් අය විය යුතු මුදල් ප්‍රමාණයෙන් 10% ක අතිරේක ගාස්තුවකට ද වරිපනම් ගෙවීමට බැඳී සිටින තැනැත්තා යටත් වනු ඇත.

(ඉ) තවදුරටත් එසේම, තහනමට ගත හැකි චංචල දේපළ කිසිවක් නොමැති අවස්ථාවක අදාළ නිශ්චල දේපළ තහනමට ගෙන විකිණීමට ද නීතිමය බලය ලැබී ඇත.

ව්‍යාපාර බදු අය කර ගැනීම

  1. හැඳින්වීම

        (අ)   බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතෙන් මහා නගර සභාවලට ද, 255 අධිකාරය වන නගර සභා ආඥාපනතෙන් නගර සභාවලට ද සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

        (ආ)  කර්මාන්ත බද්දට යටත් ස්ථානයක් නොවන ස්ථානයක් වන අවස්ථාවක සහ යම් සේවා සැපයීමේ කාර්ය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ ව්‍යාපාරය මේ බද්දට යටත් වේ.

  1. නීතිමය අධිකාරය

        (අ)   252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247ඇ වගන්තියේ (1) ඡේදය;

        (ආ)  255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165ආ වගන්තියේ (1) ඡේදය; සහ

        (ඇ)  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 152 වන වගන්තියේ (1) ඡේදය.

 

  1. සුදුසුකම්

       කර්මාන්ත බද්දට යටත් ස්ථානයක් නොවන ස්ථානයක් වන අවස්ථාවක සහ අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා සේවා සැපයීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

  1. ගාස්තුව

        (අ)   පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයෙන් පෙර වර්ෂයේ ආදායම අනුව බදු මුදල විචලනය වේ.

        (ආ)  පසුගිය වර්ෂය සඳහා ඒ ව්‍යාපාරයෙන් ලැබූ ආදායම-

  රු. 6,000.00 නො ඉක්මවන විට බද්ද,

රු.    නැත

  රු. 6,000.00 ඉක්මවන හා රු. 12,000.00 නො ඉක්මවන විට බද්ද,

රු.    90.00

  රු. 12,000.00 ඉක්මවන හා රු. 18,750.00 නො ඉක්මවන විට බද්ද,

රු.    180.00

  රු. 18,750.00 ඉක්මවන හා රු. 75,000.00 නො ඉක්මවන විට බද්ද,   

රු.    180.00

  රු. 75,000.00 ඉක්මවන හා රු. 150,000.00 නො ඉක්මවන විට බද්ද,

රු.    1,200.00

  රු. 150,000.00 ඉක්මවන විට බද්ද,

රු.    3,000.00

අක්කර බදු අය කිරීම

අදාළ අක්කර බදු අයකිරීම පහත පරිදි වේ.

(අ) හෙක්ටෙයාර් 01 ට නොඅඩු, එහෙත් හෙක්ටෙයාර් 05 කට අඩු වූ සෑම ඉඩමක් මත අදාළ වර්ෂය සඳහා රු.50 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් සහ,

(ආ) හෙක්ටෙයාර් 05 හෝ ඊට වැඩි වූ සෑම ඉඩමක් වෙනුවෙන් එකී ඉඩමේ සෑම හෙක්ටෙයාරයක් මත අදාළ වර්ෂය සඳහා රු. 10 බැගින් වූ වාර්ෂික බද්දක් පනවා අයකිරීමටත් සිදු කරනු ලබයි.

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතට අනුව,

  • වර්ෂයේ පළමු මාසය ඇතුළත සමස්ත වර්ෂය සඳහාම ගෙවියයුතු මුදල ගෙවන්නේ නම් 10%ක ව්ට්ටමක් හිමිවේ.
  • කාර්තු අනුව ගෙවීම් සිදුකරන්නේ නම්, එක් කාර්තුවකට අදාළ මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5%ක වට්ටමක් හිමි වේ.
  • ගෙවීම් පැහැර හැර ඇති විට, සෑම කාර්තුවක් අවසානයේදීම 15%ක දඩ මුදලකට යටත් වේ.
  1. හැදින්වීම

       බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, නිතිපතා හෝ ස්ථීර ව කෙරෙන ගොවිතැනකට යටත් ඉඩම් මත බද්දක් නියම කර අය කර ගැනීමට ප්‍රාදේශීය සභාවලට බලය පවරා දී ඇත. මෙම බද්ද අක්කර බද්ද යනුවෙන් හඳුන්වනු ලැබේ.

  1. නෛතික අධිකාරිය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 (3), 141 වන, 158 වන, 160 වන සහ 161 වන වගන්ති.

        (ආ)  මෙහි ඇමුණුමෙහි ඇතුළත් කර ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ ව, නිකුත් කර ඇති ගැසට් නිවේදනවල නියම.

  1. සුදුසුකම්

        (අ)   ප්‍රාදේශීය සභා සීමාවක් තුළ පිහිටි ස්ථීර හෝ නිති පතා වගාවට යටත් කර ඇති ඉඩම්.

        (ආ)  හෙක්ටයාර් 5 කට වැඩි ඉඩමක් විය යුතු ය.

        (ඇ)  මෙහි උපලේඛනයෙහි දැක්වෙන නියමවලට අනුව, විශේෂ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාදේශීය සභාවලට පමණක් හෙක්ටයාර් 1 කට වැඩි හා හෙක්ටයාර් 5 කට වඩා අඩු ඉඩම්වලින් අක්කර බදු අය කර ගැනීමට බලය ලැබී ඇත.

        සටහන : 01. අක්කර බදු අය කරනු ලබන දේපළකින් වරිපනම් අය කිරීම කළ නොහැක.

                     02. ඉඩමේ ප්‍රමාණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කර තිබුණේ වුව ද, වර්ෂයට අදාළ අක්කර බදු ගෙවීමට ඉඩමෙහි  අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ.

  1. ගාස්තු

        ඉඩමෙහි භූමි ප්‍රමාණය අනුව මෙම බද්ද අය කිරීමේ අනුප්‍රමාණ විචලනය වේ. ඒ අනුව අක්කර බද්දට යටත් ඉඩමේ ප්‍රමාණය –

        (අ)   හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩි වන අවස්ථාවක, ඒ ඉඩමේ එක් එක් හෙක්ටයාරය මත රු. 10.00 ක් බැගින් වූ උපරිමයට
      යටත් මුදලක් ද;

        (ආ)  හෙක්ටයාර් එකකට නොඅඩු එහෙත් හෙක්ටයාර් පහකට අඩු වන අවස්ථාවක, ඒ ඉඩමේ එක් එක් හෙක්ටයාරය මත
        රු. 50.00 ක් බැගින් වූ උපරිමයට යටත් මුදලක් ද,

        වශයෙන් ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලබන ආකාරයෙන් අය කර ගනු ලබන මුදල ලෙස සැලකිය යුතු ය.

 

        සටහන :

1.  ඉහත (ආ) ඡේදය යටතේ වන හෙක්ටයාර් පහකට අඩු ඉඩම් සඳහා අක්කර බද්ද නියම කර අය කර ගැනීමට යම් ප්‍රාදේශීය සභාවකට බලය පැවරෙන්නේ, ඒ ප්‍රාදේශීය සභාව අයත් ප්‍රදේශය විශේෂ ප්‍රදේශයක් ලෙස අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ නියම කර ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක දී පමණි. (මෙසේ විශේෂ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාදේශීය සභා පිළිබඳ නාම ලේඛනයක් මෙහි උපලේඛනයට ඇතුළත් කර ඇත)

2. ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලැබූ අක්කර බද්ද, කාර්තු වශයෙන් හෝ එකවර වර්ෂයට ම හෝ සභාවට ගෙවීමේ දී වට්ටමක් ලබා ගැනීමට අවස්ථාව දී ඇත.

                          (අ)   වර්ෂය සඳහා අදාළ අක්කර බද්ද, අදාළ වර්ෂයේ ජනවාරි මාසය ඇතුළත දී ගෙවනු ලබන අවස්ථාවක, සියයට දහය (10%) ක වට්ටමක් ද;

                          (ආ)  කාර්තුවකට අදාළ අක්කර බද්ද, අදාළ කාර්තුවේ පළමුවන මාසය තුළ දී ගෙවනු ලබන අවස්ථාවක, සියයට පහක (5%) වට්ටමක් ද.

                          වශයෙන් ඒ අවස්ථා වෙන් කර ඇත.

5. ඉදිරිපත් කළ යුතු ලේඛන

        (අ)   ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද සත්‍යෙක්ෂණ නිවේදනය.

        (ආ)  සත්‍යෙක්ෂණ නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ ඉඩමේ පිහිටීම (පාර සහ ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

6. අක්කර බදු ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක

        (අ)   නිතිපතා කෙරෙන හෝ ස්ථිර ගොවිතැනකට යටත් කිසියම් ඉඩමක් මත ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලබන අක්කර බදු, එම ආයතනය විසින් නියම කරනු ලබන කාලය ඇතුළත දී එම ප්‍රාදේශීය සභාවට ගෙවීමට ඒ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ. නියමිත කාලය ඇතුළත එම අක්කර බද්ද ගෙවීමට යම් තැනැත්තකු අපොහොසත් වන්නේ නම්, එම හිඟ මුදල් අය කර ගැනීම සඳහා සභාවේ නිලධරයකුගේ හෝ යම් බදු එකතු කරන්නකුගේ නමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය සභාවේ ලේකම්ට නීතිමය බලය ඇත.

        (ආ)  ලේකම් විසින් එවැනි බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට, එම බලපත්‍රය ලැබූ තැනැත්තා විසින් අදාළ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තකුට අයත් සියලු ම චංචල දේපළ තහනමට ගෙන විකුණා අය විය යුතු මුදල් ප්‍රමාණය අය කර ගෙන ප්‍රාදේශීය සභා අරමුදලට තැන්පත් කිරීම ද නීත්‍යනුකූල වේ.

        (ඇ)  මෙසේ කිසියම් චංචල දේපළක් තහනමට ගැනීමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව වශයෙන් අය විය යුතු මුදලෙන් 10% ක ප්‍රමාණයක මුදලක් ද අය කර ගැනීමට බලය ඇත.

        (ඈ)  එසේම චංචල දේපළ තහනමට ගැනීමේ ගාස්තු වශයෙන් අය විය යුතු මුදල් ප්‍රමාණයෙන් 10% ක අතිරේක ගාස්තුවකට ද අක්කර බදු ගෙවීමට බැඳී සිටින තැනැත්තා යටත් වනු ඇත.

        (ඉ)   තවදුරටත් එසේම, තහනමට ගත හැකි චංචල දේපළ කිසිවක් නොමැති අවස්ථාවක අදාළ නිශ්චල දේපළ තහනමට ගෙන විකිණීමට ද නීතිමය බලය ලැබී ඇත.

කර්මාන්ත බද්ද අය කර ගැනීම

  1. හැඳින්වීම

(අ) බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වා ගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතෙන් මහා නගර සභා වලට ද, 255 අධිකාරය වන නගර සභා ආඥාපනතෙන් නගර සභා වලට ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභා වලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

(ආ) යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.

  1. නීතිමය අධිකාරය

(අ) 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247 ආ වගන්තිය;

(ආ) 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165 අ වගන්තිය; සහ

(ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමග කියවිය යුතු 150 වන වගන්තිය.

  1. සුදුසුකම්

අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

  1. ගාස්තුව

(අ) කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම බදු මුදලේ ප්‍රමාණය විචලනය වේ.

(ආ) ඒ කර්මාන්තය පවත්වා ගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම

බදු ප්‍රමාණයන් පිළිබඳ විස්තරය

බද්දේ ප්‍රමාණය (මිල සීමාව)අදාළ බදු ගාස්තුව
රු. 750.00 නොයික්මවන විටරු. 500.00
රු. 750.00 ඉක්මවන සහ රු. 1,500.00 නොයික්මවන විටරු. 750.00
රු. 1,500.00 ඉක්මවන විටරු. 1,000.00

5.ඉදිරිපත් කළ යුතු ලේඛන.

මෙහි ඇමුණුමෙහි ආකෘතියට අනුව, නාගරික කොමසාරිස් / ලේකම් විසින් නිකුත් කරනු ලැබූ කර්මාන්ත පිළිබඳ බදු නිවේදනය.

සටහන: මේ ලේඛනය ඉදිරිපත් කිරීමට යම් තැනැත්තකුට නොහැකි වන අවස්ථාවක, ඉහත සඳහන් ආකාරයේ කර්‌මාන්තයක් තමන් විසින් පවත්වා ගෙන යනු ලබන බවත් තමන් ඒ කාර්ය කරනු ලබන ස්ථානයේ ලිපිනය කුමක් ද යන්න සභාවේ පෙරටු කාර්යාල නිලධාරියා දැනුම්වත් කිරීමෙන් මේ බද්ද ගෙවීමේ හැකියාව ඇත.

 

  • ප්‍රදේශයේ සියලුම කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් විසින් මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාවට ලබාදිය යුතුය.
  • ඉන්පසු ආදායම් පරීක්ෂකගේ පරීක්ෂාවෙන් පසු ලේකම් අනුමැතිය ලැබේ.
  • වාර්ෂිකව ගෙවිය යුතු කර්මාන්ත හා ව්‍යාපාර බදු ගාස්තුව ලිපි මගින් දැනුම් දෙනු ලැබේ.
  • අදාල ගාස්තුව ගෙවීමෙන් පසු ව්‍යාපාරය පවත්වාගෙන යාමට නීතිමය අවසර හිමි වේ.

වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම

  1. හැඳින්වීම

       බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව, සුඛ විහරණය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට අදාළ කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනවලට පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යය වේ. බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන යනු ලබන වෙළෙඳාම් හෝ ව්‍යාපාර අතරින් මහජන සෞඛ්‍යයට, සනීපාරක්ෂාවට, පහසුවට හා සුඛ විහරණයට යම් ආකාරයක අහිතකර බලපෑමක් ඇති විය හැකි වෙළෙඳාම් හෝ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීමට අදාළ ව, 252 වන අධිකාරය වූ මහා නගර සභා ආඥාපනත යටතේ / 255 වන අධිකාරය වූ නගර සභා ආඥාපනත යටතේ / 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ, එකී යම් සභාවක් විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ඒ වෙළෙඳාම හෝ ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානය සඳහා එකී සභාවේ නාගරික කොමසාරිස්වරයා / සභාපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් ලබා ගත යුතු ය. මේ කාර්යය නියාමනය කිරීම එකී සභාවේ වගකීම වේ.

        සටහන: සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා ද, සභාව විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථා වශයෙන් සැලකිය යුතු ය.

  1. නීතිමය අධිකාරය

        (අ)  මහා නගර සභා ආඥාපනතේ 267 වන වගන්තිය / නගර සභා ආඥාපනතේ 153 වන වගන්තිය / 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122 වන වගන්තිය යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථා හෝ ඒ යටතේ සාදන ලදැයි සලකනු ලබන හා සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා;

        (ආ) මහා නගර සභා ආඥාපනතේ 148අ / නගර සභා ආඥාපනතේ 128අ / ප්‍රාදේශීය සභා පනතේ 167 වන වගන්ති;

        (ඇ) මහා නගර සභා ආඥාපනතේ 247අ / නගර සභා ආඥාපනතේ 164 / ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්ති;

        (ඈ) වෙළෙඳ බලපත්‍රය අදාළ වන කර්මාන්තය, පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් වන විට 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ච වගන්තිය.

  1. සුදුසුකම්

        (අ)  යම් අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ, සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතු වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් විය යුතු ය.

        (ආ) ජාතික පාරිසරික පනත යටතේ සාදන ලද නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කාර්යයක් වන අවස්ථාවක, වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබිය යුතු ය. (1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ච වගන්තිය)

  1. ගාස්තුව

        (අ)  කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම ගාස්තු ප්‍රමාණය විචලනය වේ.

        (ආ) ඒ කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම –

               (iii) ඒ ස්ථානය නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව බදු ප්‍රමාණයන්

ස්ථානයේ වාර්ෂික වටිනාකම (රු.)අය කෙරෙන බදු ප්‍රමාණය (රු.)
රු. 750.00 දක්වා (නොයික්මවන විට)රු. 500.00
රු. 750.00 සිට රු. 1,500.00 දක්වාරු. 750.00
රු. 1,500.00 ට වැඩි සෑම විටමරු. 1,000.00
  1. ඉදිරිපත් කළ යුතු ලේඛන.

        (අ)  නිසි ආකෘති පත්‍ර මත පිලියෙල කල ඉල්ලුම් පත්‍රය;

        (ආ) ජාතික පාරිසරික පනත යටතේ සාදන ලද නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කාර්යයක් වන අවස්ථාවක, වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රය.

  • හෝටල් ,ආපන ශාලා, මල් ශාලා ,රසකැවිලි නිශ්පාදන ,බේකරි ආදී ව්‍යාපාර වලට ලබාදෙනු ලබයි.
  • අයදුම්පත්‍රය ලබාගෙන ව්‍යාපාර හිමිකරු විසින් සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.
  • ආදායම් පරීක්ෂක,විෂය ලිපිකරු පරීක්ෂාවෙන් පසු ලේකම්ගේ නිර්දේශයෙන් අනුමැතිය සඳහා සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයට යවනු ලබයි.
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අනුමැතිය ලැබුණු පසු අදාල වෙළඳ බලපත්‍ර ගාස්තුව ප්‍රාදේශීය සභාව වෙත ගෙවීමෙන් පසුව වෙළඳ බලපත්‍රය නිකුත් කරනු ලබයි.

විනෝද බද්ද අය කර ගැනීම

  1. හැඳින්වීම

        බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත සිදු කරනු ලබන යම් විනෝද කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළු කර ගැනීමට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයකට සමාන මුදල් ප්‍රමාණයක් විනෝද බද්ද වශයෙන් නියම කර අය කර ගැනීමට පළාත් පාලන ආයතනවලට විනෝද බදු ආඥාපනතෙන් නෛතික බලය පවරා දී ඇත.      මේ යටතේ පළාත් පාලන ආයතනයක් විසින් අය කිරීමට තීරණය කොට නියම කරන ලද විනෝද බද්ද අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ දින සිට ක්‍රියාත්මක වේ. එසේ වුව ද පහත සඳහන් විනෝද කාර්යයන් එකී විනෝද බද්දට යටත් නොවනු ඇත.

        (අ)   සන්නද්ධ හමුදාවල (යුධ, නාවික හෝ ගුවන්) සාමාජිකයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා පවත්වනු ලබන විනෝද සංදර්ශන.

        (ආ)  කිසියම් ආධුනිකයකු විසින් යම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් තුළ පවත්වනු ලබන ඔහුගේ  මුල් ප්‍රසංග දහය.

        (ඇ)  වේදිකා නාට්‍ය හෝ රූකඩ සංදර්ශන‍.

        සටහන: 1.  කිසියම් විනෝද කාර්යයක් පවත්වනු ලබන ස්ථානයට ප්‍රවේශ වීමට සහ ඇතුළත කෙරෙන විනෝද කාර්යය සඳහා වෙන වෙනම ගාස්තු අය කරනු ලබන විටක දී, ඒ සෑම අය කිරීමක් ම විනෝද බද්දට යටත් වනු ඇත.

  1. කිසියම් විනෝද කාර්යයක් සඳහා මුද්‍රණය කරන ලද ප්‍රවේශ පත්‍ර නොමැති ව අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත ව හෝ වෙනත් යම් ආකාරයකින් ගාස්තු අය කරනු ලබන අවස්ථාවක දී ද, අය කර ගත් මුදලට සරිලන අනුපාතය මත එකී විනෝද බද්ද ගෙවිය යුතු ය.
  2. තමන් විසින් ම ක්‍රියා කරන හෝ ක්‍රියා කරවන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රියාකාරකමකින් විනෝද වීමේ අවස්ථාවක, ඒ සඳහා ගාස්තු අය කරනු ලබන්නේ නම්, එසේ අය කරනු ලබන ගාස්තුව ද විනෝද බද්දට යටත් වනු ඇත.

ඉහත සඳහන් කිසියම් ආධුනිකයකු විසින්, ඔහුගේ පදිංචි ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ නම්, ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා විසින් ද, නැතහොත් වෙනත් යම් ප්‍රදේශයක පදිංචි තැනැත්තෙකු නම් ඔහු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ද නිකුත් කරනු ලබන සහතිකයක් මගින් ඔහු ආධුනිකයකු බව සහ ඔහු විසින් මෙතෙක් පවත්වන ලද ප්‍රසංග වාර ගණන දහයක් ඉක්මවා නොමැති බවට තහවුරු කළ යුතු ය.         

2.නීතිමය අධිකාරය

       267 වන අධිකාරය වන විනෝද බදු ආඥාපනත.

  1. ගාස්තුව (බද්ද)

1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ දෙවන වගන්තියේ (1) වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඉමදූව ප්‍රාදේශීය සභාව, සභාවේ පරිපාලන සීමා ඇතුලත වූ ප්‍රදේශයෙහි පවත්වනු ලබන එකී , ආඥා පනතේ විස්තර කර ඇති යම් විනෝද කටයුත්තකට කරනු ලබන ගෙවීමකින් 15% (සියයට පහලවක) ට සමාන මුදලක් 2024 වර්ෂයේ සිට (2023/10/04 / 150 යටතේ) 15% ක විනෝද බද්දක් අය කරනු ලබයි. 1984 අංක 37 දරණ විනෝද බදු (සංශෝධන) පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව කටයුතු  කිරිමටත්, සිදු කරනු ලැබේ.

  1. බද්දට යටත් තැනැත්තා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ

        (අ)   මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුතු ප්‍රවේශ පත්‍ර (විනෝද කාර්යය කෙරෙන ස්ථානය තුළ ගාස්තු අය කරන සෑම ස්ථානයකටම අදාළ) පළාත් පාලන ආයතනයේ පරිපාලන ප්‍රධානියා වෙත ඉදිරිපත් කොට ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා ගත යුතු ය. (මේ ඉල්ලීම සමග ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරන ලද මුද්‍රණාලයේ අයිතිකරු හෝ කළමනාකරු විසින් නිකුත් කරන ලද මුදල් භාරගැනීමේ කුවිතාන්සියේ මුල් පිටපත සමග ඡායා පිටපතක් ද ඔහු විසින් වෙනම නිකුත් කරනු ලැබු සහතිකයක් ද මගින් මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුතු ප්‍රවේශ පත්‍ර වල ප්‍රමාණය තහවුරු කළ යුතු ය.)

        (ආ)  අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත ක්‍රමය යටතේ හෝ වෙනත් ආකාරයකින් ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබන අවස්ථාවක දී, ඒ පිළිබඳ ව පළාත් පාලන ආයතනයේ පරිපාලන ප්‍රධානියා සෑහීමට පත් වන ආකාරයෙන් තහවුරු කළ යුතු අතර පළාත් පාලන ආයතනයේ පරිපාලන ප්‍රධානියා සෑහීමට පත් වන ආකාරයෙන් එම සෑම විද්‍යුත් ප්‍රවේශ පත්‍රයකට ම පළාත් පාලන ආයතනයට අනන්‍ය වූ විද්‍යුත් කේතයක් (QR Code) ඇතුළත් කිරීමට විනෝද කාර්යයේ සංවිධානයක හෝ සිනමා ශාලාවේ කළමනාකරු ක්‍රියා කළ යුතු ය.

        (ආ)  මුද්‍රා තබන ලද හෝ අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර සියල්ලේ ම වටිනාකමින් විනෝද බද්දට යටත් මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කළ යුතු ය.

        සටහන:  විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඉල්ලා සිටින තැනැත්තකු ද මේ යටතේ වන විනෝද බද්දේ ප්‍රමාණය සභාවේ තැන්පත් කළ යුතු ය.

පරිසර පරීක්ෂණ සහ බලපත්‍ර ගාස්තු

  1. හැඳින්වීම

ඇතැම් කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙන් පැවරී ඇති බලතල යටතේ එම කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා පාලනය කිරීමට පරිසර විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග අනුව, එවැනි යම් කර්‌මාන්තයක් හෝ ක්‍රියාකාරකමක් කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත යුතු බලපත්‍රයකි.

සටහන

 i. ඉහත නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇත.

ii.මෙහි ඇමුණුම 01 හි දක්වා ඇති කිසියම් කර්මාන්තයක් පවත්වා ගෙන යාම සඳහා ලබා ගත යුතු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇති බලතල, එකී ජාතික පාරිසරික පනතේ 26 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවලට පවරනු ලැබ ඇත.

iii. පළාත් පාලන ආයතනයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර භාර ගනු ලබන්නේ එකී ඇමුණුමෙහි සඳහන් කර්මාන්ත සම්බන්ධයෙන් පමණක් වන අතර සෙසු කර්‌මාන්ත සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතු ය.

  1. නීතිමය අධිකාරය

(අ) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත;

(ආ) මෙහි ඇමුණුම 02 හි ඇතුළත් කර ඇති 2022. 01. 27 වන දිනය දක්වා ගැසට්‌ පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති, එකී පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ නියෝග.

  1. සුදුසුකම්

(අ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත ඇමුණුම 01 හි සඳහන් කිසියම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අදහස් කරනු ලබන නැතහොත් එවැනි කර්‌මාන්තයක් කර ගෙන යනු ලබන තැනැත්තෙකු විය යුතු ය.

(ආ) අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග වලින් කර ඇති නියම සම්පූර්ණ කර තිබිය යුතු ය:

4.  ගාස්තුව

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ සඳහා ඉල්ලුම් පත්‍රයට රු.500 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
  • නව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම සඳහා ගාස්තුවක් අය කෙරේ. (ආයෝජන මුදල අනූව පරීක්ෂණය ගාස්තුව තීරණය වේ.)
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ලෙස රු.4,500.00 සහ රජයේ බදු මුදල් අය කෙරේ. (පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවුරුදු 03ක කාල සීමාවක් සදහා වලංගු වේ.)
  1. ඉදිරිපත් කළ යුතු ලේඛන

අලුතින් බලපත්‍රයක් ලබා ගන්නා විට,

  • අයදුම්පත්‍රය මුදල් ගෙවා ලබා ගෙන නිසි පරිදි සම්පූර්ණ කර පහත ලේඛන සමඟ අයදුම්පත්‍රය සභාව වෙත භාර දීම.
    • ඔප්පුවේ පිටපතක්
    • මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
    • ඉඩම තමා සතු නොවේ නම් එකඟතාවය ප්‍රකාශිත ලිපියක්

 

  • අයදුම්පත්‍රයේ සඳහන් ආයෝජන මුදලට අනුව පරීක්ෂණ ගාස්තුව සභාව වෙත ගෙවීම.
  • ස්ථානීය පරීක්ෂණයට යොමු කිරීම.
  • පරීක්ෂණ වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත සහ බීට්ටු වන නිලධාරී වෙත යොමු කිරීම.
  • නිර්දේශ සහිත ගොනු පරිසර කමිටුවට යොමු කිරීම.
  • බලපත්‍රය ලබා දීමට කමිටු නිර්දේශය ලැබුයේ නම් ගාස්තුව අය කර බලපත්‍රය ලබා දීම.
  • කමිටු නිර්දේශය නොලැබුයේ නම් අවශ්‍ය කොන්දේසි ඉටු කර ගැනීමෙන් පසුව බලපත්‍රය ලබා දීම.

බලපත්‍රය නැවත අලුත් කිරීමේදී ,

  • අලුත් කිරීමේ අයදුම්පත්‍රය පමණක් ලබා ගනී.
  • පරීක්ෂණ ගාස්තුවක් අය නොකරයි.

ප්‍රචාරක දැන්වීම් ප්‍රර්දශන අවසර පත්‍ර නිකුත් කිරීම

  1. හැඳින්වීම

(අ) යම් ප්‍රසිද්ධ ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි, මහජනතාව වෙත කිසියම් පණිවුඩ සන්නිවේදනය කිරීමක් සඳහා පුවරුවක හෝ බැනරයක ආධාරයෙන් ප්‍රර්දර්ශනය කරනු ලබන දැන්වීම් වලින් දෘශ්‍ය පරිසරයට සිදු විය හැකි බාධා හෝ හානි වළක්වාලීමේ අරමුණ ඇතිව ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම නියාමනය කිරීමට පළාත් පාලන ආයතන විසින් අතුරු ව්‍යවස්ථා සාදනු ලැබ ඇත.

(ආ) දැන්වීමක් හෝ පණිවුඩයක් හෝ තැනැත්තන් වෙත සන්නිවේදනය කිරීම සඳහා රූප හෝ වචන හෝ වෙනත් කවර හෝ ආකාරයක සංඥා හෝ යොදා ගනිමින් කවර වූ හෝ පොදු ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි කිසියම් තැනක සවි කරන ලද හෝ එල්ලා තබන ලද හෝ අලවා තබන ලද නැතහොත් ප්‍රදීප්ත පුවරුවක් වශයෙන් ප්‍රදර්ශනය කරනු ලබන, මුද්‍රණය කරන ලද හෝ අතින් අඳින ලද හෝ විද්‍යුත් හෝ වෙනත් ආකාරයක ආලෝක සංඥා හෝ වෙනත් කවර හෝ ආකාරයකින් ප්‍රදර්ශනය කරනු ලබන සන්නිවේදනයක් ප්‍රචාරක දැන්වීමක් වශයෙන් හඳුන්වනු ලැබේ.

(ඇ) ”පොදු ස්ථානය” යන්නට යම් වීදියක්, පාරක්, ඇලක්, වැවක්, මුහුද, අහස හෝ රජයට හෝ පළාත් පාලන ආයතනයට අයත් කිසියම් ස්ථානයක හෝ මහජනතාව පරිහරණය කරනු ලබන යම් වෙනත් පොදු ස්ථානයක් අදහස් වේ.

(ඈ) ඉහත කී කවර හෝ ආකාරයක ප්‍රචාරක දැන්වීමක් සහ එය ප්‍රදර්ශනය කරන ස්ථානය, අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන අනුගමනය කර තිබෙන බවට පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය, මේ කාර්යයේ දී ”අවසර පත්‍රය’‘ යනුවෙන් අදහස් වේ.

සටහන

1. පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශණය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු ගෙවීමේ සහ අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වේ.

ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –

(අ) ” කුලියට දීමට තිබේ” යන්න හෝ “ විකිණීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;

(ආ) ගෘහ නාම පුවරු හෝ වර්ග මීටර් 0.093 (වර්ග අඩි 1) නො ඉක්මවන වෘත්තිය කටයුත්තකට අදාළ දැන්වීමක්;

(ඇ) වෙළෙඳ කටයුත්තක් සඳහා යොදා ගන්නා වාහනයක ප්‍රදර්ශනය කරනු ලබන ඒ ව්‍යාපාරයේ ස්වභාවය, අයිතිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක දැක්වෙන ප්‍රචාරක දැන්වීමක්.

 

සටහන

  1. පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශණය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු ගෙවීමේ සහ අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වේ.

ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –

(අ) ” කුලියට දීමට තිබේ” යන්න හෝ “ විකිණීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;

(ආ) ගෘහ නාම පුවරු හෝ වග මීටර් 0.093 (වර්ග අඩි 1) නො ඉක්මවන වෘත්තිය කටයුත්තකට අදාළ දැන්වීමක්;

(ඇ) වෙළෙඳ කටයුත්තක් සඳහා යොදා ගන්නා වාහනයක ප්‍රදර්ශනය කරනු ලබන ඒ ව්‍යාපාරයේ ස්වභාවය, අයිතිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක දැක්වෙන ප්‍රචාරක දැන්වීමක්.

  1. පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු අය කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් අවසර පත්‍රයක් ලබා ගැනීමට යටත් විය යුතු ය.

ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –

(අ) ශුද්ධ ලාභය පුණ්‍ය කටයුත්තක් සඳහා යොදවන යම් ප්‍රසංගයක දැන්වීමක්;

(ආ) කිසියම් ප්‍රසංගයක් පවත්වන ස්ථානයේ සවි කරනු ලබන ඒ ප්‍රසංගයට අදාළ ප්‍රචාරක දැන්වීමක්;

(ඇ) ආගමික, දේශපාලනික හෝ මහජන රැස්වීමක් පිළිබඳ දැන්වීමක්

  1. කිසියම් ප්‍රචාරණ කාර්යයක් සඳහා ප්‍රදර්ශනය කරන පෝස්ටර් සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් එවැනි යම් පෝස්ටරයක්, ඇලවීම සඳහා වෙන් කර ඇති ස්ථානයක හැර වෙනත් ස්ථානයක අලවා තැබීම වරදක් වේ.

2.නීතිමය අධිකාරය

කිසියම් පළාත් පාලන ආයතනයකට ලැබී ඇති බලය යටතේ සාදන ලද හෝ ඒ යටතේ සාදන ලදැයි සලකනු ලබන, ප්‍රචාරක දැන්වීම් හා දෘශ්‍ය පරිසරය පිළිබඳ අතුරු ව්‍යවස්ථා.

3. ගාස්තු

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ ගාස්තු (වර්ග අඩියකට)

දැන්වීම් වර්ගයමාසයකට හෝ ඉන් කොටසකට (රු.)ලිත් වර්ෂයක් සඳහා (රු.)

01. බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරන දැන්වීම්

(චිත්‍රපට දැන්වීම් හැර)

70.00280.00

02. ලෑලි, බැනර්, කටවුට් හෝ වාහනයක ප්‍රදර්ශනය කරන දැන්වීම්

(චිත්‍රපට දැන්වීම් හැර)

70.00280.00
03. චිත්‍රපට ප්‍රචාරක දැන්වීම්70.00280.00
04. ප්‍රතිදීප්ත (Illuminated/Neon) ප්‍රචාරක දැන්වීම්100.00350.00

වැදගත් කරුණු:

    • ඉහත සියලුම ගාස්තු අය කරනු ලබන්නේ ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීමේ වර්ග අඩියකට (Per Sq. Ft.) අදාළවය.

    • ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට පෙර සභාවේ අනුමැතිය ලබා ගැනීම සහ අදාළ ගාස්තු ගෙවීම අනිවාර්ය වේ.

    • ගලවා ඉවත්කරන ලද දැන්වීම් පුවරු හෝ බැනර් නැවත ලබා ගැනීමේදී අදාළ බලපත්‍ර ගාස්තුවෙන් 10% ක සේවා ගාස්තුවක් අය කරනු ලබයි.
  1. ඉදිරිපත් කළ යුතු ලේඛන

    (අ)  නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව මගින් ලබා ගන්නා ලද ඉල්ලුම් පත්‍රය

    (ආ) A 4 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන ලද හෝ අතින් අඳින ලද (යොදා ගන්නා වණ ද පෙන්නුම් කරන), ප්‍රර්දර්ශනය කිරීමට අදහස් කරන ප්‍රචාරක දැන්වීමෙහි සමරූපී ආර්දර්ශයක්;

    (ඇ) කිසියම් මාර්ගයක රක්ෂිතයේ සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා දෙන ලද අවසරය;

    (ඈ) අදාළ ප්‍රචාරක දැන්වීම් පුවරුව ප්‍රර්දර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශය විසින් එකඟතාව පළ කළ ලිපියේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.

    (ඉ) කිසියම් පෞද්ගලික ඉඩමක හෝ ගොඩනැගිල්ලක සවි කරනු ලබන හෝ ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීමක් වන විට, ඒ ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු හෝ අයිතිකරුවන් විසින් ඒ සඳහා ඉඩ දීමට කැමැත්ත ප්‍රකාශිත ලිපියේ පිටපතක්.

ඉඩම් විකිණීම මත බදු පැනවීම

ඉමදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඇතුළත වූ යම් ඉඩමක් වෙන්දේසිකරුවෙකු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ අන්‍යාකාරයකින් විකුණනු ලබන අවස්ථාවක, එම ඉඩම් විකිණීමේ ලත් මුදලින් 1% ට සමාන බද්දක් විකුණුම්කරු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ඉමදුව ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.

  1. හැඳින්වීම

       බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, කිසියම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු මගින් හෝ එවැනි තැනැත්තකුගේ අනුයෝජිතයකු මගින් විකිණීම කරනු ලබන අවස්ථාවක, ඒ ඉඩම විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලෙන් සියයට එක(1%)කට සමාන මුදලක්, ඒ වෙන්දේසිකරු හෝ බ්‍රෝකර්වරයා විසින් අදාළ පළාත් පාලන ආයතනයට බද්දක් වශයෙන් අය කර ගැනීමට නීතිමය බලය පවරා දී ඇත. මෙම බද්ද ඒ යටතේ අය කර ගනු ලැබේ.

  1. නීතිමය අධිකාරය

        (අ)   252 වන අධිකාරය වූ මහා නගර සභා ආඥාපනතේ 247ඉ වගන්තිය;

        (ආ)  255 වන අධිකාරය වූ නගර සභා ආඥාපනතේ 165ඈ වගන්තිය;

        (ඇ)  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 154 වන වගන්තිය.

  1. සුදුසුකම්

        කිසියම් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු හෝ එවැනි තැනැත්තකුගේ නියෝජිතයකු හෝ විසින් යම් පළාත් පාලන ආයතනයක බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් විකිණීම කරන අවස්ථාවේ දී, ඒ තැනැත්තා මේ බද්ද ගෙවීමට යටත් වනු ඇත.

        සටහන: i.  කිසියම් වාණිජ බැංකුවක් විසින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයක් විසින් යම් ඉඩමක් හෝ නිවසක් සහිත ඉඩමක් උකසට ගෙන ණය මුදලක් ගෙවා තිබිය දී අදාළ ණයකරු විසින් එකී ණය මුදල ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ඒ ණය මුදල අය කර ගැනීමේ කාර්යය සඳහා අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට පැවරී ඇති ඇටෝර්නි බලය අනුව ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම, වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු හෝ එවැනි තැනැත්තකුගේ නියෝජිතයකු මගින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම කරනු ලැබීමේ දී, ඒ තැනැත්තා විසින් විකිණීමට තීන්දු කරනු ලැබූ මුදලෙන් සියයට එකකට සමාන ප්‍රමාණය වශයෙන් මේ බද්ද ඒ වෙන්දේසිකරුගෙන් නැතහොත් බ්‍රෝකර්වරයාගෙන් හෝ එවැනි තැනැත්තාගේ අනුයෝජිතයාගෙන් අය කර ගත යුතු ය.

  1. ii. ඉහත සඳහන් යම් වෙන්දේසියක දී ඉඩම මිල දී ගැනීමට ගැනුම්කරුවකු ඉදිරිපත් නොවන විටක, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම මිල දී ගැනීමට ක්‍රියා කරන අවස්ථා පවතී. එවැනි අවස්ථාවක වුව ද මේ බද්ද ගෙවීමට වෙන්දේසිකරු හෝ බ්‍රෝකර් හෝ අනුයෝජිතයා යටත් වේ.

                    iii. යම් අධිකරණයක් විසින් කරනු ලබන විධානයක් මත අධිකරණයේ පිස්කල් විසින් යම් දේපළක් වෙන්දේසි කිරීම සිදු කරන අවස්ථාවක දී ද, මේ බද්ද අය කර ගත යුතු අතර අදාළ පිස්කල් වෙන්දේසිකරු වශයෙන් සැලකිය යුතු ය.

  1. ගාස්තුව     

        අදාළ ඉඩම විකිණීමෙන් ලබා ගත් සම්පූර්ණ මුදලෙන් සියයට එකකට (1%) සමාන මුදල බද්ද වශයෙන් ගෙවිය යුතු ය.

        සටහන: ඇතැම් වෙන්දේසිකරුවන් හෝ බ්‍රෝකර්වරුන් හෝ ඔවුන්ගේ අනුයෝජිතයන් විසින් ඉඩම විකුණනු ලැබූ මුදලේ වටිනාකම අඩුවෙන් පෙන්වා දෙමින් ඔප්පු පිළියෙළ කරනු ලබන අවස්ථා තිබිය හැකි ය. එවැනි තත්ත්වයක් පිළිබඳ යම් සැකයක් ඇති වන අවස්ථාවක, ඒ ඉඩමේ සත්‍ය වෙළෙඳපොළ වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්වරයාගේ කාර්යය විය යුතු ය.